HNB FINANCE තිරසර පරිසරයක වගකීමට උරදෙමින් විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE  තිරසර පරිසරයක් සඳහා වන සිය වගකීමට මූලිකත්වය දෙමින් විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නව විසඳුමක් ක්‍රියාවේ යොදවන ලදි.

සමාජයට වගකියන ආයතනයක් ලෙස HNB FINANCE හි විද්‍යුත් අපද්‍රව්‍යයන් පරිසරයට බැහැර කිරීමේදී සිදුවන හානිය අවම කිරීම මෙම නවතම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

HNB FINANCE ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛා කාර්යාලවල එකතුවන විද්‍යුත් අපද්‍රව්‍ය දැඩි ක්‍රමවේදයක් ඔස්සේ වර්ගීකරණයට ලක්කර එම විද්‍යුත් අපද්‍රව්‍ය N.S Green Links Lanka (Pvt.) Ltd වෙත බාර දෙනු ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි මෙම සමාගම විද්‍යුත් අපද්‍රව්‍ය ක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කරයි.

N.S Green Links Lanka (Pvt.) Ltd සමගින් එළැඹි මෙම උපායමාර්ගික සහයෝගීතාවය තුළ HNB FINANCE සමාගම තිරසර පරිසර කළමනාකරණයක් සඳහා වන සිය අනාගත කැපවීම පිළිබිඹු කරමින් සමාජයට සහ පරිසරයට වඩාත් ඵලදායී මෙහෙවරක් සිදු කරනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ තිරසර පරිසරයක් සඳහා වන අපගේ කැපවීම සමාගමේ ව්‍යාපාරික භාවිතාව තුළින් ම පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස මෙම සහයෝගීතාව හඳුන්වා දිය හැකියි. විද්‍යුත් අපද්‍රව්‍ය වගකීම් සහගත ලෙස පරිසරයට බැහැර කිරීම සඳහා අප විසින් එළැඹි මෙම සහයෝගීතාව තුළින් සමාගමේ තිරසර පාරිසරික ප්‍රතිපත්තිය පිලිබඳව සුබවාදී පණිවිඩයක් අපගේ පාරිභෝගිකයින්  වෙත ලබා දෙන අතරම මෙය අනාගත හරිත ශ්‍රී ලංකාවක් සඳහා වන වැඩ පිළිවෙල සඳහා ලබා දෙන ඵලදායී දායකත්වයක් ද වන බව මගේ අදහසයි‘‘.